Saturday, June 28, 2014

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
සයිමන් නවගත්තේගමයන්ගේ ‘සංසාරණ්‍යය’ කෘතියෙන් ආරම්භ වූ දඩයක්කාරයා මූලිකකොට ගත් කතා මාලාවේ, ‘සංසාරණ්‍ය අසබඩ’ නම් කෘතියට. මෙය ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් විවරණයක් වනවා සේම වෙන ම පරිකල්පනා ලෝකයකට අප රැගෙන යන කෘතියක් .

ප්‍රබන්ධ නොවන කෘතිය...
‘මිනිසාගේ සම්භවය’ නම් රුසියානු පරිවර්තන කෘතිය. මට මතක විදියට මෙහි මුල් කෘතිය රචනා කළේ එම්. නෙස්ටූර්හ් නම් රුසියානු ලේඛකයා.

මේ දිනවල ඔබ කියවන්නේ...
පුෂ්පා ‍රම්ලනී ගේ ‘සුදු හිම පළස’ කෙටි කතා පොත. ඇ‍ෆ්ගනිස්ථානු ජන ජීවිතයේ ඈ ජීවත් වූ සමයේ විඳි අත්දැකීම් සමුදායක් සහ එහි කාන්තාව විඳින පීඩනයයි මේ කෘතියෙන් කියැවෙන්නේ. අපේ සමාජයට අනන්‍යකොට රචනා කොට තිබීමයි මේ කෘතියේ වැදගත්ම දේ.

කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘සත්ව සංතතිය'. මෙය මිනිසාගේ පරිණාමය සහ පැවැත්ම පිළිබඳ විද්‍යාත්මකව කරුණු ගොනු කළ කෘතියක් .
ඊළඟට සුනිල් සී. පෙ‍රේරා පරිවර්තනය කළ බෲනෝ ආපික්ස් ගේ ‘වෘක්කයන් අතර නග්නව’ කෘතිය. අන්තර්ගතය හා රචනා ශෛලිය අතින් පොහොසත් මේ කෘතියෙන් පහුගිය වකවානුවල අප වින්ද භාෂණයේ අත්දැකීම්, වෙනත් රටකින් රැගෙන ආ අත්දැකීම් සමඟ එක්ව හැඟී යනවා.
ඊළඟට මං කැමැතියි, ලියනගේ අමරකීර්ති පරිවර්තනය කළ කලාව කුමකටද... කෘතියත් කෙනකු කියවනවා නම්.
කලාව සහ එහි භාවිතාව පිළිබඳ අප තුළ ඇති විවිධ මළකඩ කොටස් කඩා දමපු නව්‍ය (modern) අර්ථකථනයක් ලබා දෙන කෘතියක් මෙය.

පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ශෛලියද... අන්තර්ගතයද නැතිනම් අවසානයද...
අන්තර්ගතය මූලිකයි. එය පාඨකයාට වඩාත් ගෝචර වීමට නම් රචනා ශෛලියත් වැදගත් වනවා. අවසානය පිළිබඳ මා එතරම් තකන්නේ නෑ. මොකද අවසානයට එන විට අපි ඒ පොතේ අන්තර්ගතයෙන් ජීවිතයට අවශ්‍ය දේ උකහා ගෙන ඉවරයි.


ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...
ලේඛකයා අමතක නමුත් ‘වනදරුවෝ ළමා කාලයේ මතකයේ රැඳුණු කැමැතිම පොතයි. එතකොට මම නාත්තණ්ඩියේ ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ හයේ පංතියේ දරුවෙක්. විදෙස් පොතක පරිවර්තනයක් බවත් මතකයි. තවමත් ඒ පොත මගේ හිතේ තදින් ම පැලපදියම් වෙලා තිබෙනවා.
ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක ග්‍රන්ථ තිබෙනවාද...
පොතක් කියවද්දී එය මොන වර්ගයකදැයි මම සොයන්නෑ. ජීවිතයට ඉන් ලැබෙන පෝෂණය සහ ආලෝකය පමණයි වැදගත්කොට සලකන්නේ. අතට ලැබෙන හැම පොතකින් ම මා සොයන්නෙත් ඒ දේයි.

මෙතෙක් කියැවූ පොත්වලින් ඔබේ ජීවිතයට ලැබුණු දේ...
මගේ මුළු ජීවිතයම ලැබුණේ පොත් වලින්. මේ සිතන පතන විදිය, සමාජයේ මං පවතින විදිය, ඒ සමාජය එක්ක මං ගනුදෙනුකරන විදිය සහ මා තුළ ඇති සංවේදිකම ඇති කළේ පොත් කියවන මේ පුරුද්දයි.

ඔබට අනුව පොතකින් තැනූ හොඳම චිත්‍රපටය...
බොරිස් පැස්ටනැක් නම් රුසියානු ලේඛකයාගේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ පොතින් ඩේවින් ලීන් අධ්‍යක්ෂණය කළ ‘ඩොක්ටර් ෂිවාගෝ’ චිත්‍රපටය.

ඔබ ඉහළින් ම අගයන කතුවරයා...
සයිමන් නවගත්තේගම. ඒකීය රටාවක, ඒකාකාර අත්දැකීම් මත වර්ධනය වෙමින් තිබූ ලාංකේය නවකතාව, අපට හිතා ගත නොහැකි සේ ගව් ගාණක් ඉදිරියට රැගෙන ගොස් අත්හැරියේ ඔහුයි. එය ලාංකේය නවකතාවේ හැරවුම් ලක්ෂයක් ලෙසයි මා සලකන්නේ.

ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...
පොතක සම්භාව්‍ය අසම්භාව්‍ය කියන සීමාව මට ප්‍රශ්නාර්ථයි. නමුත් ජීවිත පරිඥාණය පුළුල් කළ, දැවැන්ත අත්දැකීම් සම්භාරයක් මත ලියැවුණු ගාර්ෂියා මාර්කේස්ගේ ‘One Hundred years of solitude’ මුල් කෘතියෙන් ගාමිණි වියන්ගොඩ සිංහලයට පරිවර්තනය කළ ‘සියවසක හුදෙකලාව’, එවැනි අර්ථයකින් නම් මට ඉතා විශිෂ්ට කෘතියක්.

ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...
සුගතපාල ද සිල්වා පරිවර්තනය කළ ‘ඇටමැස්සා'. එය එතල් ලිලියන් වොයිනිච්, මුල් ලේඛිකාවගේ ‘The Gladfly’ කෘතියේ පරිවර්තනයයි.

No comments:

Post a Comment